Thursday, September 29, 2011

දෙනෙත විවරයි දකිනු රිසියෙන - යමක් වේනම් දෙනෙත පිනවන.... 

සවන විවරයි අසනු රිසියෙන - නදක් වේනම් සවන් සනහන.... 

මුව අයා ඇත දොඩනු රිසියෙන - යමෙකු වේනම් අසා සිටිනට.... 

නමුදු ..... 

රාත්‍රිය නිහඬ, නිසංසල.... 

වෙලාගෙන ඇත සකල විශ්වය.... 

බැලු බැලූ අත අඳුර පමණය.... 

ඇසු ඇසූ ඉම නිසල සුළඟය....



අපේ පුංචි ලෝකයේ නම සඳහන් කිරීමට අකමැති පාඨකයෙක්ගේ නිර්මාණයකි. 
 ඇයට අපගේ ස්තුතිය

ඒ ඔබයි...... මා සදහටම පෙම් කල



දුටිමි මම යම් දෙයක් - ඔබ මා දෙස බලන බැල්මේ 

තිබුණි එහි සත්‍යයක් - සිනහව අතරින් ඔබේ දෙනෙතේ 

බලාපොරොත්තු නොවූ මඟකදී - බලාපොරොත්තු නොවූ දිනකදී 

බලාපොරොත්තු විය හැකිද එහි අන් යමක්‌? 

නැත එහි තව තවත් රහස් - සියල්ල පැහැදිලි වී අවසන් 

කලක්‌ තිස්සේ සෙවූ නැවතුම හමුවිය හදවතට මගේ

ඒ ඔබයි...... මා සදහටම පෙම් කල


Sunday, September 25, 2011

අපේ බ්ලොග් කෙරුවාව

       මේක මේ බ්ලොග් ගැන කතාවක්. ප්‍රියංග මීට මාසෙකට විතර කලින් විහිලු කතාවක් දැම්ම අපේ බ්ලොග් එකේ මහතුන්ගේ වැසිකිලිය. පුදුමේ කියන්නේ මේක බලන ඉන්දෙද්දී මාර විදියට කට්ටිය කියවන්න ආව. බ්ලොග් කෙරුවාව කරන අය දන්නවා dashboard එකේ ඉඳගෙන කට්ටිය කොහෙන්ද අවේ, මොනවද කියෙව්වේ, විතරක් නෙවෙයි, ආපු පරිගණකයේ ඔක්කොම විස්තර ඇඩ්මින්ට පේනවා. ඉතින් හත්වලාමේ මෙච්චර කාලෙකට කොච්චර පොස්ට් දැම්මත් මේ රෙකෝඩ් එක කඩන්න බැරි උනා. ඇත්තටම එක කියවල හොදට හිනාවෙන්න පුළුවන්. තවමත් බ්ලොග් එකට කවුරු හරි ආවම මේ පොස්ට් එකත් කියවනවා. මට හිතාගන්න බැහැ හේතුව. සමහර විට මොකක් හරි කුණුහරපයක් කියල නම දැක්ක ගමන් හිතෙනවද මන්ද?? එත් අනේ එහෙම දෙයක් නෑ මේක හරි අහිංසක කතාවක් කියල දැක්කම හොදටම බැන බැන යනවත් ඇති.  
           එහෙම කියනකොට තමයි මට තව කතාවක් මතක උනේ. මමත් ලංකාවේ තියෙන බොහොමයක් බ්ලොග් අඩවි ගැන හෙවිල්ලෙන් ඉන්නේ. සමහර විට මේ කියන කෙනාත් මේ පොස්ට් එක කියවනවා නම් අපි එක්ක තරහ වෙන්න එපා. අදහස් ප්‍රකාශ කිරීමට ඕන කෙනෙක්ට අයිතියක් තියෙනවා. එකට ගරු කරන්න ඕන. මම දැකපු එක්තරා බ්ලොග් අඩවියක තනිකරම කියවන එකා මෝල් වෙන විදියේ පොස්ට් තමයි තිබුනේ. බොරු කියන්න ඕන නැහැ මමත් කියෙව්වා. මමත් පෘතග්ජන මනුස්සයෙක් නේ??බුදු අම්මේ ඒ පොස්ට් කියවල මමත් මෝල් උනා. හරියට සෞඛ්‍ය පාඩමක් වගේ. හැම පොස්ට් එකටම පුදුම විදියේ කොමෙන්ට් තොගයක්. අපිත් ඉතින් කොල්ලෝ ටික සෙට් උනාම ඔහොම දේවල් ගැන කතා වෙනවා තමයි. එත් ඉතින් ඕවා මහා පාරේ හයියෙන් කියව කියව යනවා නම් ඒක ඉතින් වෙනම දෙයක්. මේ වගේ පොස්ට් ඒවා දාන ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ බ්ලොග් එක කියවන අය වැඩි කරගැනීමේ අදහසින් නම් එක එච්චර හොඳ දෙයක් නෙවෙයි යාලුවේ. කියවන අයගේ මොලේට වදින විදියේ දෙයක් දුන්නොත් ඒකෙන් ලැබෙන සතුට කියල නිම කරන්න බැ කියල බ්ලොග් අඩවි ලියන අයත් මාත් එක්ක එකඟ වෙයි. කරුණා කරලා මේක මේ විවෙච්චනයක් කියල හිතන්න එපා. මේ බ්ලොග් අඩවි තව කාලයක් , සමහර විට අපි මැරුනටත් පස්සේ තියේවි. එතකොට අපිට පස්සේ පරම්පරාව ඒ කියන්නේ අපේ ළමයි මේ පොස්ට් දැක්කම මොනවා හිතයිද?? අපිට බනිද? එහෙමත් නැත්නම් උන් හිතයි අපේ වැඩිහිටියෝ අපිට ඉතිරි කලේ මේවද කියල උන් උන් ගැනම ලජ්ජා වෙයි. උදාහරණයක් විදියට හිතල බලන්න ඇත්තටම අපි උනත් කීයෙන් කීදෙනාද ගමක, ඇලක දොලක නාල, සුන්දර ළමා කාලයක් රස විදලා තියෙන්නේ?? අපි ටොම් සෝයර් , හක්ල්බරි , මඩොල් දුව,  වගේ ළමා කතා පොත් වල කියවපු ළමා කාලේ වීර කතා ඇත්තට අත්විඳලා තියෙනවද?? ඒවා කියවනකොට අපිටත් පුදුම ආසාවක් එන්නේ නැත්ද ඒ වගේ පිස්සු වැඩ කරන්න?? අපිට පොඩි කාලේ එකට ඉඩක් තිබුනද කියල තම තමන්ගේ       හිත්වලින් අහල බලන්න. මම ශිෂ්‍යත්වෙන් කොළඹට ඇවිත් මගේ ළමා ලෝකේ අහිමි කර ගත්ත කෙනෙක් . එත් අපේ වැඩිහිටියෝ ඒ සුන්දරත්වේ වින්දා. එත් ටික දෙනෙක්ගේ වැරදි නිසා ඒ ලෝකේ අපිට අහිමි උනා. වනාන්තරයක් කියල ඇත්තටම දෙයක් දැකල තියෙන්නේ කවුද?? කෝ දැන් ඒවා. ලංකාවේ කොහෙද තියෙන්නේ ?? කෙලින්ම නොවුනත් අපිට යටි හිතින් එයාල ගැන ඉරිසියාවක්‌ එනවා. මගේ කතාවත් ඕනවට වැඩිය දිගට ගියා. ඉතින් ..... 
           බ්ලොග් අයිති සහෝදර සහෝදරියනේ, අපේ මේ වටිනා හැකියාවන් යොදාගෙන සමාජෙට යහපතක් වෙන දෙයක් කරන්න අපි උත්සහ කරමු නේද?? ඒකෙන් අපේ වින්දනයට බාධාවක් වෙනවා කියල මට නම් හිතෙන්නේ නෑ. 

අහිමි බව ඔබව මට.....


ඇස් දෙකට පෙනෙනවා නිරතුරුව ඔබෙ රුව.....


සවනතට ඇහෙනවා නිරතුරුව ඔබෙ හඩ..

හදවතට දැනෙනවා නිරතුරුව ඔබෙ සුවද....

සිතන්නට සිතෙනවා ඔබව මට අයිති බව....

එහෙත් ලෝකයම කියනවා ඔබව මට අහිමි බව...




Saturday, September 24, 2011

රාවණාගේ දුන්න කැඩුවේ කවුද??


ඔන්න එක්තරා ඉස්කෝලෙකට අධ්‍යාපන පරීක්ෂක කෙනෙක් ඇවිත් පන්තියකට ගියාලු පන්තියේ ඉගැන්වීම පරික්ෂා කරන්න. පන්තියේ හිටපු ගුරුතුමා  ඉතිහාසය උගන්නමින් හිටියලු. පරීක්ෂකතුමා ළමයින්ගෙන් මෙහෙම ඇහුවලු.



" ළමයිනේ කියමු බලන්න කවුද රාවණාගේ දුන්න කැඩුවේ ?"

පන්තියේ හිටපු ළමයෙක් එකසැරේට නැගිටලා කිව්වලු


"අනේ සර් මේ ඉස්කෝලේ මොනවා කැඩුනත් මම තමයි මාට්ටු වෙන්නේ ඒ උනාට ඇත්තමයි  ඕක නම් මම කලේ නෑ"

පුදුම වෙච්ච පරික්ෂකතුමා ගුරුතුමා දිහාට හැරිලා මෙහෙම ඇහුවලු 
"එතකොට ඔබතුමා දන්නෙත් නැත්ද?"

බයවෙච්ච ගුරුතුමා කිව්වලු " ආයෙත් දෙකක් නෑ සර් ඉස්කෝලේ ඉන්න එපාම කරපු උන් ඉන්නේ මේ පන්තියේ මුන් තමයි ඕක කරලා තියෙන්නේ"

පරීක්ෂකතුමා කෙලින්ම ගියාලු විදුහල්පති මුණගැහෙන්න.
"සර් අර පන්තිය නම් අන්තිමයි. කවුරුත් දන්නේ නෑ රාවණාගේ දුන්න කැඩුවේ කවුද කියල"

විදුහල්පති තුමාත් වෙච්ච අවනම්බුවෙන් ගැලවෙන්න මෙහෙම කිව්වලු.
"සර් මේ ඉස්කෝලේ බඩු දෙකතුනක් නම් තිබිල අතුරුදහන් උනා තමයි. එත් මේ වගේ සිද්දියක් වාර්තා වෙච්ච පලවෙනි වතාව. මම ඕක කරපු එකා කොහොම හරි හොයල ඕකව හමගහනවා!!!!"

මල පැනපු පරීක්ෂකතුමා යන්න ගියාලු.සතියකට පස්සේ විදුහල්පතිතුමාට අධ්‍යාපන කාර්යාලයෙන් ලියුමක් ලැබුනලු.

විදුහල්පතිතුමා වෙත,

ඔබ විදුහලට පැමිණි පරීක්ෂකතුමා රාවණාගේ දුන්න කැඩුවේ කවුද යන්න මෙම පාසලේ කිසිවකු නොදන්නා බව ලොග් සටහන් පොතේ දක්වා ඇත. පාසලේ යම් දෙයක් වේ නම් එහි අයිතිය රජය සතු වන බැවින් කරුණාකර රාවණාගේ දුන්නේ ඉතිරි කොටස් සමග අධ්‍යාපන කාර්යාලයට පැමිණ මා හමු වන ලෙස දන්වා සිටිමි.

මීට
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක 

(මම හිතන්නේ ලංකාවේ සිදුවීමක් නම් නෙවෙයි) 

Monday, September 19, 2011

ඉවසනු ප්‍රචණ්ඩ ප්‍රේමය

දළ රළ පෙළක් අහසට නැග එන විලස
නොසිතන පතන බාධා පිරෙයි මෙලෙස 
රළ පෙළ බිදේයි වැද වෙරළේ වැලි පලස 
ඉවසා සිටිමු අපි සංසිඳුවන තුරු පවස

සම්මත අසම්මත කැප අකැපයන් හට 
හැක මුළු ලොවේ සම්මතයන් වසන්නට 
ග්‍රහයන් පලාපල සහ කලදසාවට 
බැහැ වලකන්න අපගේ එක්වීම හෙට 

පල්ලම් බසින්නේ කන්දක් නැගී පසුය 
සඳ බබළන්නේ ගිනිහිරු බැස ගිය පසුය
මහා වැව පිරෙන්නේ  මහා වැස්සට පසුය 
කඳුලට දුක කිමද?  සිනහව ඉන පසුය 

අත්පුඩි ගසන්නට තනි අතකට බැරිය 
දුරකට ඉගිලෙන්න තනි තටුවට බැරිය 
සිමා මනින්නට තනි ඇසකට බැරිය
මට ඔබ නැතිව ජිවත් වෙන්නට බැරිය 

Thursday, September 1, 2011

මයික්‍රොසොෆ්ට් අනාගත දැක්ම



මේ video එක කවුරුත් දැකල ඇති කියල හිතනවා. දැකල  නැත්නම් දැන්වත් බලන්න. පුදුමයි නේද?? අනාගත ලෝකේ මෙහෙම වෙනවා නම් කොච්චර හොදද කියල හිතෙනවා. මේ තාක්ෂණය අපේ ජීවිත කාලෙදිම දකින්න පුළුවන් කියල මම හිතනවා. මොකද අපි ඉන්නේ හරිම පුදුමාකාර යුගයක. 

එත්..... මේ video එකේ තියෙන විදියට මෙහෙම තාක්ෂණයකදී මිනිස්සු ලස්සනට සතුටින් සරලව පහසුව ඉදීවිද?? බලන්න අපි දැනටමත් මේ පෙරළිකාර ලෝකේ දුරකථනයි පරිගණකයි  වලට කොච්චර වහල් වෙලද කියල ?? හිතල බලන්න අපේ පරිගණකය ඉස්සරහ වාඩි උනාම කොච්චර වෙලාව ගියත් දැනෙන්නේ නෑ. කන්න බොන්න විතරක් නෙවෙයි සමහරුන්ට නාන්නත් අමතක වෙනවා.

 කොච්චර කිව්වත් මටත් මේකෙන් ගැලවෙන්න  බෑ මොකද අපිත් මේවත් එක්ක ඉස්සරහට නොගියොත් අපිට අනාගතේ ඉන්න වෙන්නේ ආදී වාසින් වගේ තමයි. එත් බලන්න මේ තියෙන තාක්ෂණය නිසා අපි නොදැනම මෙච්චර සමාජෙන් පවුලෙන් හුදකලා වෙනවා නම් අර වගේ තාක්ෂණයකදී අපිට මොකද වෙන්නේ?? මේ නිසා බිහිවෙන්නේ හැගීම් දැනීම් වලින් තොර සමාජයක් මිස මේ වගේ සුන්දර සමාජයක් බිහිවෙයි  කියල අද  සමාජය දිහා බැලුවම නම් හිතෙන්නේ නෑ. මයික්‍රොසොෆ්ට් සිහිනය යතාර්ථයක් වෙන දිනය අත ලග වගේම අපිට නම් නිදි නැතිව ඉන්න වෙන දිනයද අත ළගයි  කියල මට හිතෙනවා

එන්න එකතු වෙන්න

*හුරතලාගේ වැඩක් (@ss)
Creative Commons License
blog by අපේ පුංචි ලෝකය is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.