Thursday, August 18, 2011

මලවි හැර නොයන්....


මේ ඉන්නේ ජෝන් ඩන් ( John Donne) කියන රචකයා.ඒ වගේම උගත් නීතිඥයෙක්. 1572 ජනවාරි 21 දින ලන්ඩන් නගරයේ උපත ලැබූ මොහු වසර 59 ක් සාහිත්‍ය මෙහෙවරෙහි යෙදී සිට 1631 මාර්තු 31 අවසන් ගමන් ගියා.

 මේ අපූරු පුද්ගලයාව (එයාගේ පද්‍ය) මට හමුවුනේ මහරගම තරුණ සේවා එකේ Advanced National Diploma in English  කරන්න ගිය කාලේ.
පන්තියටම ළමයි 10 ක් විතරයි. කෙල්ලෝ 9යි, කොල්ලෝ 1යි. ඒ අහිංසක කොල්ලා මමයි කියල අමුතුවෙන් ඔය කස්ටියට කියන්න ඕනේ නෑනේ!!

ඉංග්‍රීසි සාහිත්‍යය භාරව ඉගැන්වීම් කළේ ජෝ කියලා ගුරු මහත්මයෙක්. පරණ පප්පා ටයිප් ඉංග්‍රීසි මහත්මයෙක්. උජාරුව සහ පම්පෝරිය එතුමාට උපතින්ම පිහිටලා තිබුණා.
සාහිත්‍යය සම්බන්ධයෙන් එතුමාට තිබුණු දැනුම කාටවත් සම කරන්න නම් බෑ. මෙලෝ හසරක් නොතේරෙන ඉංග්‍රීසි පද්‍ය, එතුමා දක්ෂ ලෙස අපට පැහැදිලි කර දුන්නා.
පන්තියේ එකම කොල්ලා වීම හේතුවෙන් එතුමා මා සමග එක්වී දැඩි ලෙස කාන්තා පාර්ෂවයට බයිට් එල්ල කරන්න පටන්ගැනීමත් සමගම මගේ දයාබර කෙල්ලෝ ටිකට තවත් මාව පේන්න බැරි උණා.

කෙසේ වෙතත් ජෝන් ඩන් කියන අපූරු පුද්ගලයාගේ අග්‍රගණ්‍ය පද්‍ය පන්තියක් වන "Sweetest love, I do not go" , ජෝ ගුරුතුමා අපට පැහැදිලි කලා.

SWEETEST love, I do not go,
For weariness of thee,
Nor in hope the world can show
A fitter love for me ;
But since that I
At the last must part, 'tis best,
Thus to use myself in jest
By feigned deaths to die.

Yesternight the sun went hence,
And yet is here to-day ;
He hath no desire nor sense,
Nor half so short a way ;
Then fear not me,
But believe that I shall make
Speedier journeys, since I take
More wings and spurs than he.

O how feeble is man's power,
That if good fortune fall,
Cannot add another hour,
Nor a lost hour recall ;
But come bad chance,
And we join to it our strength,
And we teach it art and length,
Itself o'er us to advance.

When thou sigh'st, thou sigh'st not wind,
But sigh'st my soul away ;
When thou weep'st, unkindly kind,
My life's blood doth decay.
It cannot be
That thou lovest me as thou say'st,
If in thine my life thou waste,
That art the best of me.

Let not thy divining heart
Forethink me any ill ;
Destiny may take thy part,
And may thy fears fulfil.
But think that we
Are but turn'd aside to sleep.
They who one another keep
Alive, ne'er parted be.



මගේ ප්‍රේමනීය මනසට එක නියම ආහාරයක් උණා. මොකද කියනවා නම් ඒ දවස්වල පන්තියේ එක්තරා ළමයෙකුට මගේ සිත තදින්ම ඇදී ගිහින් තිබුනේ. ඇය ඊට කලින් දවසේ පාඩම සිංහලට හරවා කවියට නගා තිබුණා. හවස ගෙදර ඇවිත් ඇය ගැන මනෝ ගසමින් සිටියදී .. මට මෙබඳු සිතුවිලි පහළ උණා. පාඩමට සමගාමිව මගේ සිත් ගත් අහිංසක ආදරය නිතැතින්ම පැදි බවට පෙරළුනා.

(1)
ගතිනුද සිතින වෙහෙසව ගිය හෙයින ඔබෙන්
වෙන් වී යනු ඇතිය ඔබ නොපතන්න සිතෙන්
සුන්දර අනග සරි ලිය පස සොයන රිසින්
ඔබ හැර නොමැත ලිය සරණක් පතන ලොවින්


(2)
එනමුදු සුපිපි සුව රස බලනා ජීවේ
හැර යා යුතුව ඇත අවසන් දෝලාවේ
සමදන් සුවය ගත නැති සිත තුල පාවේ
මරණය ළං වුවත් එහි ජීවය බෝ වේ


(3)
දිලි මුව රතඹ හැර හිරු බැස ගිය පෙරදා
විලිබර සුරඹ වෙත නැග එයි මරු පරදා
මිලිනව හැගුම අදිටන සිත නොම රන්දා
පිලිවෙල පෙරඹ නොවරද හිරු මග රන්දා


(4)
දිනකර යනෙන මග සලකුණු දෙස නොබලා
රස කර නැගෙන ඔබෙ තොල් පෙති සිහි කරලා
පසු කර දුවමි යොදුනට දහසක් ගෙවලා
සරි කර ගෙවනු මැන දිවි,මා සිහි කරලා


(5)
හොද කල දවස ගෙවී යයි තත්පර මිනිත්තුවෙන්
විදි කල දවස බැහැ ගන්නට තුවක්කුවෙන්
තෙද බල පෙන්වුවද මුව රැඳි සුරුට්ටුවෙන්
මිනිසා දුබලයෙකි ගෙව්වද දිවිය සුවෙන්...


(6)
දෙටු බල නැගෙන විට රත් පැහැ ගිනි ජාලා
සිතිවිලි නොදේ ඉඩ ඉන්නට පිටු පාලා
තැවෙමින් දොසින් දුක් ගින්නෙන් පුරවාලා
ගිනි ගෙන දැවේ තම වරදින් විදවාලා


(7)
සුලගට ඔබ හෙලන සුසුමෙන් නොමැත රිදුම්
ප්රාණය ගසා යයි බිදවා මසිත පැතුම්
සෝ දුක් නිවන්නට සුසුමට කරන පිදුම්
ජීවය මගේ උදුරා ගොස් ගෙනෙයි රිදුම්


(8)
නුවනග නැගෙන දිය,මිනි කැට සිහි ගන්වයි
සුසිනිදු සිනිදු වුවනත ඉන් ඔප ගන්වයි
එනමුදු එයින් මා රුහි අව පැහැ ගන්වයි
නුපුරුදු හැගුම් අප හදවත් බිය ගන්වයි


(9)
සුසුමද,හැඩුම අවි ආයුධ කොට මෙලෙස
මා දිවි නසනුයේ ඇයි ඔබ මේ විලස
මට පෙම් කරන බව ඔබ පැවසූ හවස
සිහියට නැගෙයි ඔබ දුක් වන හැම දවස


(10)
කාලය වටිනවා කහවණු වලට වඩා
කුසලය වටිනවා හැම පවකටම වඩා
පුර සද වටිනවා සද නති රැයට වඩා
මට ඔබ වටිනවා වෙන කාටවත් වඩා


(11)
අසුරන් සුපුර වටැ රණ ගොස නගද්දී
ඔබ දිව හදවතට හී සර විදිද්දී
මා යුධ වදිමි විෂ හී තල කැවෙද්දී
රැක ගනු මැනවි හද,එහි මා මියෙද්දී


(12)
විකසිත වන කුසුම මුකුලිත වී යන්නේ
අලුයම නැගෙන හිරු සවසට බැස යන්නේ
දයිවය අනුව මේ හැම දෙය සිදු වන්නේ
එඩිතර වනු මිසක ඇයි ඉන් බිය වන්නේ?


(13)
සැඩ රලු සුලග නිවුවද අප නෙත් පහන
සිද බිද දමනු නොහැකිය අප සිත් රැහැන
දුක්බර වියොව ගැන දකිමින් සුබ සිහින
දෙපසට හැරී නිදනා මෙනි එක යහන


(14)
මා හද මඩලෙ සැමදා ජීවත් වන්න
ඔබ හද පතුලෙ මා ඇත්දැයි පවසන්න
දෙදෙනා තුලම දෙදෙනා ජීවත් වන්න
මොන අසුරෙකුටවත් බැහැ අප නවතන්න


ප.ලි: අදාල ගැහැණු ළමයා එකල මගේ ප්‍රේමය සිහිනෙන් වත් නුදුටු නමුත් දැන් මගේ පෙම්වතිය වී මගේ ජිවිතයට ආලෝකය දෙන්නීය.
                 එදා වගේම අදත්,හෙටත් මේ පැදි පෙළ ඇයටයි. අපේ ආදරයටයි.

No comments:

එන්න එකතු වෙන්න

*හුරතලාගේ වැඩක් (@ss)
Creative Commons License
blog by අපේ පුංචි ලෝකය is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.